77 වන ජාතික නිදහස් දිනය අදයි

Date:

77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙවර නිදහස් දින උත්සවය අඩු පිරිවැයකින් පැවැත්වීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා සඳහන් කළේය.

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම් උළෙල සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය සියයට 40කින් පමණ අඩු කර ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේය.

මෙරට සියලු පුරවැසියන්ට සමානාත්මකව සලකන රටක් නිර්මාණය කිරීම 77 වන නිදහස් දින සැමරුම් උළෙලේ මූලික අරමුණ බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය අචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.

මේ අතර 77 වන ජාතික නිදහස් සැමරුම නිමිත්තෙන් අද දිනයේ කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ, ඒ අනුව කොළඹ ප්‍රදේශයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීම් සහ මාර්ග වසා තැබීම් සිදුකිරීමට නියමිත බවය.

Share post:

Popular

More like this
Related