හාලි ඇල පොලිස් වසමේ බණ්ඩාරවෙල මාර්ගයේ විනයාගර් කෝවිල ආසන්නයේ ඇති වෝල්ට් 33000 අධි වෝල්ටීය ට්‍රාන්ෆෝමරයේ සිට භූමියට සම්බන්ධ තඹ කම්බිය කපමින් සිටි සැකකරුවෙකු අද (29) අළුයම් කාලයේ දී හාලි ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම සැකකරු තවත් අයෙකු සමඟ බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ඇති ට්‍රාන්ෆෝමර 06 ක මෙලෙස කපන ලද තඹ කම්බි රෝල් 13ක් කවර දෙකක දමා තිබියදී පොලිසිය විසින් අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සමග සිටි තවත් පුද්ගලයෙකු පලා ගොස් ඇති අතර, එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හා මොවුන් විසින් දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් මෙවැනි සොරකම් සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් හාලි ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
