ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය හේතුවෙන් අප්‍රේල් 4 වන දින සවස 6 සිට රාත්‍රී 10 දක්වා කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය වරින් වර වසා දමන බව පොලිසිය නිවේදනය කරනවා.
ගාලු මුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේ ගම යන ප්‍රදේශවල සහ ඒ අවට මාර්ග අප්‍රේල් 5 වන දින වරින් වර වසා දමන බවයි එහි වැඩිදුරටත් වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඒ බව සඳහන් කළේය.
“ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අප්‍රේල් 4 වනදා ආරම්භ වීමට නියමිතයි. මෙම සංචාරය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබනවා. ඒ අනුව අප්‍රේල් 4 වනදා සවස 6ත් රාත්‍රී 10ත් කාලය අතරතුර කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගය ද වරින්වර වසා දැමීමට සිදුවෙනවා.”
“මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන පුද්ගලයන්ට මෙම මාර්ග වසාතැබීම ගැන අවධානය යොමු කරමින් තමන්ගේ ගමනාගමන කටයුතු සැලසුම් කරගන්නා ලෙසටත් දැනුම්දෙනවා.”
“අප්‍රේල් 5 වනදා කොළඹ ගාලුමුවදොර ප්‍රදේශය, නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින්වර වසා දැමීමට සිදුවෙනවා.”
“මෙම විශේෂ රථවාහන සැලැස්ම සඳහා සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් මෙන්ම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”
