පාපැදි නිලවරණයේදී ඡන්දය අහිමි කිරීම ගැන අනුරාධපුර දිස්ත්‍රික් සමාජයෙන් අභියාචනාවක්

Date:

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලවරණයේදී තම ක්‍රීඩා සමාජයේ ඡන්ද භාවිතය අහිමි කිරීම වැරදි අර්ථකථනයක් යටතේ සිදු කරන ලද්දක් බව එම නිර්නායකය යටතේ ඡන්ද අයිතිය අහිමි වූ අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සමාජය නිලවරණ කමිටුවේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණි සරත් එදිරිසිංහ මහතාට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එම නිර්නායකය යටතේ තම ක්‍රීඩා සමාජයට ඡන්ද බලය අහිමි කිරීම පාපැදි ව්‍යවස්ථාවේ 22 වැනි වගන්තියේ ‘Meetings’ යටතේ ‘c – Council Meetings’ යන උප වගන්තියේ 11 යටතේ වැරදි අර්ථකථනයක් බව පැහැදිලි වන්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සමාජයේ ලේකම් චන්දන ප්‍රියනාත් මහතාගේ අත්සනින් යුතුව නිලවරණ කමිටුවේ සභාපතිවරයාට යොමු කර ඇති ලිපියෙහි සඳහන් වේ.

පාපැදි සම්මේලන ව්‍යවස්ථාවට අනුව සියලුම අනුබද්ධිත සංගම්, සමාජ හෝ සංවිධානවලට සම්මේලනයේ කවුන්සිල් රැස්වීම් සඳහා සහභාගි විය නොහැකි බවත්, සම්මේලනයේ කවුන්සිලය සමන්විත වන්නේ ඉහත සඳහන් 22 වැනි වගන්තියේ b උප වගන්තියේ 11 වැනි ඡේදයට අනුව අනුබද්ධිත සියලුම සංගම් නියෝජනය සඳහා පත්කර ගන්නා 10 දෙනකුගෙන් හා තේරී පත්වන නිලධාරීන් 11 දෙනා ද ඇතුළුව 21 දෙනෙකුගෙන් බව එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

ඉන් අර්ථකථනය කර ඇත්තේ එම කවුන්සිලයේ ඕනෑම සාමාජිකයකු පිට පිට කවුන්සිල් රැස්වීම් 3කට සහභාගි නොවූයේ නම් ඔහුගේ සාමාජිකත්වය අහිමිවීම බව ද එහි සඳහන් කර තිබේ.

ඒ අනුව අනුබද්ධිත සෑම සංගමයකටම කවුන්සිල් රැස්වීමට සහභාගි විය නොහැකි බැවින් එසේ සහභාගි නොවීම හේතුවෙන් ඔවුන්ගේ ඡන්ද බලය හෝ සාමාජිකත්වය අහිමි නොවන බවද එම ලිපිය මඟින් පැහැදිලි කර තිබේ. එබැවින් මෙවර නිලවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම ලබා දීමට කටයුතු කරන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය නිලවරණ කමිටුවෙන් ඉල්ලීමක් කර තිබේ. මෙවර පාපැදි නිලවරණයේදී ව්‍යවස්ථානුකූලව රැස්වීම් 3කට සහභාගි නොවීම හේතුවෙන් ඡන්දය අහිමි වී ඇති ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 12කි.

Share post:

Popular

More like this
Related