මෙරටට පැමිණි මියන්මාර ජාතිකයින් ගැන ගත් තීරණය

Date:

මුලතිව්හි, මුල්ලිවයික්කාල් මුහුදු ප්‍රදේශයට පැමිණ සිටියදී සොයාගැනුණු මියන්මාර සරණාගතයින් අද (20) ත්‍රිකුණාමලයට රැගෙන එනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, මෙම සරණාගතයින් සම්බන්ධයෙන් මෙරට නීතිය සහ ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන බවය.

මියන්මාරයේ පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙම සරණාගතයින් පිරිස මීට දින 16කට පෙර එරටින් පිටව ඇත්තේ යාත්‍රා 3ක් යොදා ගනිමිනි.

කෙසේ වෙතත්, අතරමගදී යාත්‍රා 2ක් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් ඒවායේ සිටි පිරිසද මෙම යාත්‍රාවට ගොඩවී තිබේ.

ගමන අතරතුරදී කුඩා දරුවන් සිව්දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රෝගාබාධ ඇතුළු කරුණු හේතුවෙනි.

ඊයේ (19) මුලතිව් හි මුල්ලිවයික්කාල් වෙත පැමිණ සිටි මෙම පිරිස ප්‍රදේශයේ ධීවරයින් විසින් දැක තිබූ අතර පසුව ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කෙරුණි.

ඒ අනුව 102 දෙනෙකුගෙන් යුත් මියන්මාර සරණාගතයින් පිරිස 12 දෙනෙකුගෙන් සමන්විත යාත්‍රාවේ කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ ත්‍රිකුණාමලය අෂ්රොෆ් ජැටිය වෙතට ගෙනඑනු ලැබුවේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත් වීමෙනි.

නිසි ලෙස ආහාරපාන නොලැබීම හමුවේ මෙම පිරිස දුර්වල තත්ත්වයක පසුවුණි.

මේ අවස්ථාවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතාද එක්ව සිටියේය.

පසුව ශ්‍රී ලංකා බලධාරීන් විසින් එම ස්ථානයේ ජංගම වෛද්‍ය කඳවුරක් ස්ථාපිත කෙරුණේ මියන්මාර සරණාගතයින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහායි.

මේ අතර, එම සරණාගතයින් සහ යාත්‍රාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අද පස්වරුවේ ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

Share post:

Popular

More like this
Related