මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ගොනු කර තිබූ එම පෙත්සම අද (17) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.එම්.එස්.දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම පෙත්සම තුළ ඉතා වැදගත් අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් වගඋත්තරකරුවන් ලෙස නම් කර නොමැති බවය.
ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පත්කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස ජනාධිපති ලේකම්වරයා නම් කර නොතිබීම බරපතළ නීතිමය ඌනතාවක් බව සඳහන් කළේය.
ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් එය නිෂ්ප්‍රභ කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සිය මූලික විරෝධතාවලින් සඳහන් කර තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා කියා සිටියේ පෙත්සම පවත්වාගෙන යාමට ඇති හැකියාව සම්බන්ධයෙන් වග උත්තරකරුවන් මූලික විරෝධතා මතුකර ඇති නිසා ඒ සම්බන්ධයෙන් මුලින්ම තීන්දුවක් ලබාදීමට තමාට සිදුවන බවය.
ඒ අනුව මූලික විරෝධතාවලට අදාළව ලිඛිත දේශන තිබේ නම් ඒවා මාර්තු මස 18 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සමේ සියලු පාර්ශ්වකරුවන්ට නියෝග කළ බව පැවසුවේ.
