අයිසීසී තරග තීරකවරයකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් රන්ජන් මඩුගල්ල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි තරගයත් සමඟ එක්දින තරග 400ක තරග තීරක ලෙස කටයුතු කළ ලොව පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක් විය.
1982 සිට 1988 දක්වා කාලයේදී ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ විශිෂ්ට මැදපෙළ පිතිකරුවකු වූ රන්ජන් මඩුගල්ල 1982 පෙබරවාරියේ සරවනමුත්තු පිටියේ පැවති ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ලකුණු 65ක් රැස් කරමින් අර්ජුන රණතුංග සමඟ එක්ව කඩුල්ලට ලකුණු 99ක සම්බන්ධතාවක් ගොඩනැඟීම ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අමතක නොවන සිහිවටනයකි. 1988 දී ඔහු ක්‍රීඩාවෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 21කට සහ එක්දින තරග 63කට ක්‍රීඩා කර තිබිණි.
1993 වසරේදී පළමුවරට තරග තීරකවරයකු ලෙස කටයුතු කළ 65 හැවිරිදි මඩුගල්ලේ ටෙස්ට් තරග 200කට වැඩි සංඛ්‍යාවකට සිය දායකත්වය ලබා දෙමින්ද වාර්තාපොතට එක්වී සිටින අතර අයිසීසීයේ තරග තීරකවරුන්ගේ කමිටුවේ ප්‍රධානියා ලෙසත්, ප්‍රධාන තරග තීරකවරයා ලෙසත් කටයුතු කරමින් සිටී.
