ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් තමිල්නාඩු රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
රාමේෂ්වරම් ධීවර සංගම් නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ අද (07) සහ හෙට යන දෙදින තුළ ධීවර කටයුතුවලින් වැළකී මෙම වර්ජනයේ නිරත වන බවය.
පසුගිය බදාදා දිනයේ මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීම මෙම වර්ජනයට ආසන්නතම හේතුව වී තිබේ.
රාමේෂ්වරම් ධීවර සංගම් නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ දිගින් දිගටම සිදුවන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ධීවර ප්‍රජාව තම ජීවිකාව සිදුකර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවය.
මෙම දීර්ඝ කාලීන ගැටලුවට විසදුම් ලබාදෙන ලෙස පසුගිය සමයේ බලධාරීන්ගෙන් ඉල්ලීම් සිදුකළ අවස්ථාවල ශ්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වෙන බැවින් ඒ පිළිබද පසුව සලකා බලන බව දැනුම්දුන් අතර මේ වන විට මැතිවරණ අවසන්ව නව රජයක් පත්ව ඇති බැවින් සිය ගැටලු සදහා විසදුම් ලබාදෙන ලෙස රාමේෂ්වරම් ධීවර සංගම් ඉන්දීය රජයෙන් ඉල්ලා තිබේ.
