ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (04) තීන්දු කළේය.
ගෙවිය යුතු හිඟ සුරාබදු මුදල් ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන ලිපිය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම විසින් එම පෙත්සම ගොනුකර තිබුණි.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල සටහන් කළේ මෙම පෙත්සම තුළ දක්වා ඇති කරුණු අනුව බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවය.
පෙත්සම සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් මස 30 වනදාට පෙර හිඟබදු ගෙවා අවසන් නොකළහොත් දැනට නිකුත් කර තිබෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව විසින් තම සේවා දායකයා වෙත නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව සඳහන් කර තිබේ.
දෙසැම්බර් මස 31 වන දා දක්වා මත්පැන් නිෂ්පාදන කටයුතු සිදුකිරීමට තමන්ට බලපත්‍ර නිකුත් කර තිබියදී හදිසියේ මේ ආකාරයෙන් නොවැම්බර් මස 30 වනදා ඒවා අත්හිටුවන බව දැන්වීම අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඔහු පවසා ඇත.
