රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබේ.
ඒ ඊට එරෙහිව එරට පාර්ලිමේන්තුව විසින් ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුවය.
උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේග මගින් ඇතිවිය හැකි ආපදාවලින් රට ආරක්ෂා කිරීම සඳහා රටට හමුදා නීතිය පනවන බව දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසියේ නිවේදනය කළේ ඊයේ (03) රාත්‍රියේ දීය.
ඒ යටතේ රට තුළ සියලු දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් තහනම් කෙරුණු අතර, වරෙන්තු නොමැතිව ඕනෑම අයෙක් අත්අඩංගුවට ගැනීමේ බලයද හමුදාව වෙත පැවරුණි.
එමෙන්ම ඉන් භාෂණයේ නිදහසද සීමා කෙරුණු අතර, මාධ්‍ය සඳහා ද දැඩි නීති පැනවීය.
මේ සමගින් එරට සෝල් හි පිහිටි පාර්ලිමේන්තුවට පිවිසීම අවහිර කරමින් හමුදාව ඒ වටා ස්ථානගත කෙරුණේ, විපක්ෂයේ සහ මහජනතාවගේ ප්‍රබල විරෝධය මධ්‍යයේ දීය.
එම අවස්ථාවේදී හමුදා සෙබළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී තිබුණි.
පුවත සැලවීමත් සමග විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම ආධාරකරුවන් ඊයේ රාත්‍රියේම පාර්ලිමේන්තුව අවට රැස්වී ජනාධිපතිවරයාට බලකර සිටියේ මෙම නීතිවිරෝධී හමුදා නීතිය වහාම ඉවත් කරන ලෙසය.
එමෙන්ම පාලක පක්ෂයේ ඇතැම් නියෝජිතයන් මෙන්ම ආධාරකරුවන් රැසක් ද ඊට සහාය දැක්වීමට එක්ව සිටියේය.
එහිදී දකුණු කොරියානු විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු තාප්පයෙන් පැන එම පරිශ්‍රයට පිවිසුණ අයුරුද දැකගත හැකි විය.
ඉන්පසුව මන්ත්‍රීවරුන් හමුදා අණ නොතකා බලහත්කාරයෙන් පාර්ලිමේන්තු ගර්භයට පිවිසුණේ හමුදා නීතිය ප්‍රකාශයට පත්කිරීම බලරහිත කිරීමේ යෝජනාවකට ඡන්දය භාවිත කිරීම සඳහාය.
